Saturday, October 12, 2013

ශී‍්‍ර ලංකාවට භූ කම්පන අනතුරක්


භූමිකම්පා පිළිබඳ යළිත් කරළියට පැමිණ තිබේ. ඊට ආසන්නතම හේතුව ලෙස හැඳින්විය හැක්කේ පසුගිය 26 වැනි දා රිච්ටර් මාපකයේ 3.6ක භූමිකම්පනයක් අප රටේ ප‍්‍රදේශ කිහිපයකට දැනීමයි. මෙලෙස භූමිකම්පනයේ අත්දැකීම ලැබුණු පළාත් වන්නේ කොළඹ, බදුල්ල, නුවරඑළිය සහ අම්පාර යන ප‍්‍රදේශවලය. ඊට පෙරද සුළු භූමිකම්පන තත්ත්වයක් වාර්තා වූ බවට තොරතුරු දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා විය. ඒ අනුව මේ වනවිට අප රටටද භූමිකම්පා පිළිබඳ අනතුරුදායක තත්ත්වයකට පවතින බව අනුමාන කළ හැකියි. එසේ යම් ආකාරයක දිගින් දිගටම භූමිකම්පා අප රටට දැනීමට ගතහොත් ඒ සඳහා ක‍්‍රමෝපායන් ගැනීමට ඉක්මන් විය යුතු වෙයි. එසේ නොවුණහොත් සිදු වන්නේ අප එතෙක් මෙතෙක් අත් නොවිඳි පාරිසරික, ආර්ථික හා සමාජ විනාශයක් සිදුවීමයි. එය හයිටියේ මෙන් හෝ ජපානයේ සිදුවුණාක් මෙන් විය හැකිය.

පෘථිවි තලය තැටි 13කට වෙන්වී ඇති අතර අප සිටින්නේ එම තැටි තුනක් අසලය. ඒවා නම් ඉන්දියානු තලය, නිරිත දෙසින් අප‍්‍රිකානු තලය හා  ඕස්ටේ‍්‍රලියානු තලයයි. මීට අමතරව ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිතව නව සාගර තැටියක් නිර්මාණය වෙමින් පවතියි. මේ අනුව මෙම නව තැටියේ නිර්මාණය පිළිබඳ භූ විද්‍යාඥයන් විසින් සිය අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතු කාලය එළැඹ ඇත.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව වසරකට ලොවපුරා සිදුවන භූමිකම්පන ප‍්‍රමාණය ලක්ෂ 14 ඉක්මවයි. ඒ අතරින් රිච්ටර් පරිමාණයේ 5ට අඩු භූමිකම්පන ප‍්‍රමාණය ලක්ෂ 13කට අධික වෙයි. විශාල විනාශ සිදුකළ හැකි මට්ටම හෙවත් රිච්ටර් මාපකයේ අංශක 5ට ඉහළ අගයක් ගන්නා භූමිකම්පා 1469ක් පමණ වාර්ෂිකව සිදුවන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙයි.

මින් පැහැදිලිවන්නේ ලෝකයේ කොහේ සිටියත් ඔබ යම් භූමිකම්පන තත්ත්වයකට විවෘත බවයි. බොහෝ භූමිකම්පන අපට දැනෙන්නේවත් නැත. නමුත් රිච්ටර් මාපකයේ අංශක තුනකට අධික භූමිකම්පාවක් සිදුවූවිට එහි කම්පනය සාමාන්‍ය ප‍්‍රමාණයෙන් දැනේ. අපට 26 වැනි දා අත්විඳීමට ලැබුණේ එවැනි රිච්ටර් මාපකයේ අංශක 3.6ක අගයක් සටහන් වූ භූමිකම්පනයකි. මීට පෙර අපේ‍්‍රල් මස 11 වැනි දා ජාවා සුමාත‍්‍රා ප‍්‍රදේශයේ සිදු වූ රිච්ටර් මාපකයේ අංශක 8.9ක් ලෙස සටහන් වූ විශාල භූමිකම්පනයේ කම්පනය අප රටේ ප‍්‍රදේශ ගණනාවකට අත්විඳීමට ලැබුණි. ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ ඇතැම් ගොඩනැගිලිවල භූමිකම්පාවේ කම්පනය හේතුවෙන් වීදුරු ජනෙල්, දොරවල් පවා බිඳී ගිය අයුරු දක්නට ලැබුණි. මීට පෙර 2010 වසරේ මාර්තු 14 වැනිදා රිච්ටර් මාපකයේ 6.0ක් ලෙස වාර්තාවූ භූමිකම්පනයක කම්පනය අපට අත්විඳීමට ලැබුණි. නමුත් මෙම භූමිකම්පන තුනෙන් සැලකිය යුතු හානියක් අප රටට සිදු නොවීම භාග්‍යයට කරුණකි.

අපට මුහුණ දීමට සිදුවූ විශාලතම ස්වාභාවික ව්‍යසනය වන්නේ 2004 දෙසැම්බර් 26 වැනි දා ජාවා සුමාත‍්‍රා ප‍්‍රදේශයේ හටගත් භූමිකම්පනය හේතුවෙන් ඇතිවූ සුනාමියයි. එම සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙරට පුද්ගලයන් 30,196ක් මියගිය බව නිල වාර්තාවලින් පෙන්වා දී ඇත.

අප රටට ඇතිවූ සුනාමියත් සමග භූමිකම්පා හා සුනාමි තත්ත්ව පිළිබඳ යම් අවධානයක් යොමු කිරීමට රජයට සිදුවිය. ඒ අනුව සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථාන පිහිටවු අතර පැසිෆික් සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ වූයේ පෙර දැනුම්දීම් සිදු කිරීමටය. නමුත් ගැටලූව වී ඇත්තේ අප අපේක්ෂා කළ යුත්තේ සුනාමි තත්ත්වයක් පමණක්ද යන්නයි. මක් නිසාද මේ වනවිට භූමිකම්පා තත්ත්වයන් කිහිපයක්ම අප රටට දැනී ඇති නිසාය. නමුත් අප රටේ බලධරයන් මෙම අතිශය භයානක තත්ත්වය පිළිබඳ නෑසූ කන්ව සිටීම බරපතළ ගැටලූවකි.

අපට පසුගිය අපේ‍්‍රල් 11 වැනි දා සුනාමියක බිය යළිත් දැනුණේ නමුත් එදින පවා මෙරට සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානවලින් සැලකිය යුතු තරම් මෙහෙයක් සිදුවූයේ නැත. ජනතාව අතර පණිවුඩය ගලා ගියේ ජනමාධ්‍ය හරහාය. සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දෙන ආකාරයේ පෙර පුහුණුවීම් ගණනාවක්ම පසුගිය කාලයේ මුහුදුබඩ ප‍්‍රදේශ තුළ සිදු කළ අයුරු අපට දක්නට ලැබුණි. නමුත් අප තවමත් භූමිකම්පා පිළිබඳ කිසිදු ආකාරයක අවධානයක් යොමුකර නැත.

අඩුම තරමේ හදිසි භූමිකම්පනයක් ඇති වුවහොත් විශාල පිරිස් ගැවසෙන රෝහල්, පාසල්, කාර්යාල ආදී ස්ථානවල හදිසි පිටවීමේ දොරටුවක් හෝ සකස් කර නොමැත. හදිසි ආපදා කිය කියා පැමිණෙන ඒවා නොවන බැවින් ඒවා සඳහා සූදානම් වීම ඉතා ඉක්මනින් කළ යුතුවෙයි. පසුගිය 29 වැනි දා ඉතාලියේ රිච්ටර් පරිමාණයේ ඒකක 5.8ක ප‍්‍රබලත්වයකින් යුත් භූමිකම්පනයක් සහ ඒකක 5.1 සහ 5.4ක ප‍්‍රමාණයේ පසුකම්පන දෙකක් වාර්තා විය. මෙම භූමිකම්පන හේතුවෙන් උතුරු ඉතාලියේ ගොඩනැගිලි රැුසක් විනාශ වූ අතර පුද්ගලයන් 16 දෙනකු මියගිය බවට වාර්තා විය. ඉතාලියේ සිදුවූ මෙම භූමිකම්පනය හේතුවෙන් නිවාස අහිමිවූ සංඛ්‍යාව 14,000 ඉක්මවන බව ගණන් බලා ඇත. ඉතාලිය යනු භූමිකම්පනවලට හුරු පුරුදු රටක් වුවද ඔවුන්ටද තම ජනතාව සියයට සියයක්ම ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත. මෙවැනිම තත්ත්වයක් 2010 ජනවාරි 12 වැනි දා හයිටි රාජ්‍යයෙන් වාර්තා විය. හයිටියේ හටගත් රිච්ටර් පරිමාණයේ ඒකක 7.0ක විශාලත්වයෙන් යුත් භූමිකම්පනයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,22,570ක් ලෙස වාර්තා විය. නමුත් එම වසරේ අපේ‍්‍රල් 27 වැනි දා චිලී රාජ්‍යයට බලපෑ රිච්ටර් පරිමාණයේ ඒකක 8.8ක විශාලත්වයෙන් යුත් භූමිකම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූයේ 432ක් පමණි.

මෙහිදී මතු කළ යුතු වැදගත්ම කාරණය වන්නේ චිලී රාජ්‍ය සහ හයිටි රාජ්‍ය භූමිකම්පා කෙරෙහි ප‍්‍රතික‍්‍රියා දක්වන ලද ආකාරයයි. මෙම රටවල් දෙකෙහි සිදු වූ භූමිකම්පා හේතුවෙන් සිදුවූ ව්‍යසනයන් පිළිබඳ අධ්‍යයනය කරනා කැනඩාව නිකුත් කර තිබෙන සංසන්දනාත්මක සමීක්ෂණ වාර්තාවෙන් අප රටට ගත හැකි හා ක‍්‍රියාත්මක කළ හැකි ප‍්‍රායෝගික කාරණා රැුසක් පවතියි.
එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ චිලී රටෙහි සිදුවූ 8.8 භූමිකම්පනයෙන් ජීවිත හානි අවම වීමට ප‍්‍රධාන හේතුව ඔවුන් 1928 සිට භූමිකම්පනවලට ඔරොත්තු දෙන ආකාරයේ ගොඩනැගිලි ඉදිකර තිබීම බවයි. මේ වනවිට කොළඹ නගරාශ‍්‍රිතව මෙන්ම මහනුවර, ගාල්ල යන ප‍්‍රදේශවලද තට්ටු ගොඩනැගිලි කිසිදු ප‍්‍රමිතියකින් හෝ කිසිදු ආරක්ෂක ක‍්‍රමවේදයක් නොමැතිව ඉදිකර ඇති අයුරු දක්නට ලැබෙයි. නමුත් අප රටේ ඉදිරියේදී ඉදිකරනා ගොඩනැගිලි පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේ දැනට ඉදිකර ඇති ගොඩනැගිලි තුළ හදිසි අනතුරකදී පහසුවෙන් පිටවිය හැකි මාර්ග (ත්‍සරු ැංසඑැ*ඇති කළ යුතුය.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ භූමිකම්පාවලින් හටගන්නා විනාශයන්ගෙන් වැඩි වශයෙන් අනතුරු සිදුවන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය කඩාවැටීම නිසා සහ එම ගොඩනැගිලි තුළ ගිනි ගැනීම් හේතුවෙන් බවයි. ගොඩනැගිලි කඩාවැටීම අවම කිරීම සඳහා ජපානය, නවසීලන්තය, චිලී රාජ්‍ය, ‘ඝර්ෂණ අවලම්බන’ ක‍්‍රමවේදය ගොඩනැගිලි සැකසීමේදී යොදාගනියි. මෙම ක‍්‍රමවේදය අනුව භූමිකම්පනයකදී ඇතිවන කම්පනයට ඔරොත්තු දෙමින් ගොඩනැගිල්ල ආරක්ෂා කිරීම ඝර්ෂණ අවලම්බනය මඟින් සිදුකරයි.
තවද භූමිකම්පන පිළිබඳ තර්ජනයක් පවතින රටක නිවාස ඉදිකිරීමේදී සැහැල්ලූ ද්‍රව්‍ය භාවිත කිරීම අනතුරු අවම කිරීමට ගත හැකි ප‍්‍රධාන ක‍්‍රියාවක් වෙයි. ජපානය මෙම ක‍්‍රමවේදය සාර්ථකව අනුගමනය කරයි. එමෙන්ම කාර්යාල ගොඩනැගිලි තුළ අංශ බෙදා වෙන් කිරීමේදී ලී හෝ කාඞ්බෝඞ් වැනි ද්‍රව්‍ය භාවිත කළ යුතුය. එමෙන්ම පාසල් සහ රෝහල්වල තට්ටු නිවාස සඳහා හදිසි පිටවීමේ මාර්ග කිහිපයක්ම යෙදීමෙන් හදිසි අනතුරු රැුසක් අවම කළ හැකිය.
රටවටා පවතින මහා පරිමාණ ජලාශ ව්‍යාපෘතීන් වන වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශද භූමිකම්පනයක් හේතුවෙන් අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් විනාශ වී, මහත් විපතක්ද ඇතිවිය හැකිය රිච්ටර් පරිමාණයේ ඒකක 5.5ක් හෝ ඊට වඩා ඉහළ භූමිකම්පාවක් හට ගතහොත් මෙම මහාපරිමාණ ඇළ වේලී පුපුරා යාමේ අවදානමක් පවතියි. එලෙස මහාපරිමාණ ජලාශ විනාශයට පත්වුවහොත් ඒ අවට සහ පහත් බිම්වල සිටිනා ජනතාව ව්‍යසනයට පත්වනු ඇත. එවැනි තත්ත්වයක් මතුවුවහොත් මුහුණදීමට කටයුතු රජය යොදා තිබේද? සුනාමි පෙර පුහුණු පමණක් පවත්වා භූමිකම්පාවලට මුහුණ දිය නොහැකිය. මේ නිසා ඉදිරියේදී භූමිකම්පාවලට ඔරොත්තුදීමේ සහ ඊට
මුහුණදීමේ ක‍්‍රමවේදයක් සැකසීමට කාලය පැමිණ තිබේ.

ලෝකයේ භූමිකම්පන බහුලව පවතින රටවල් යම් හෙයකින් භූමිකම්පනයක් ඇති වුවහොත් ක‍්‍රියාත්මක කළ යුතු ක‍්‍රමවේදයක් සඳහන් කර ඇත.
⋆ පළමුව ලී බඩු හා වීදුරු ආශ‍්‍රිත ස්ථානවලින් වහාම ඉවත් විය යුතුය.
⋆ඔබේ නිවසේ හෝ කාර්යාලයේ පවතින නළ පද්ධතිවල කාන්දුවීම් නවතාගත යුතුය. විශේෂයෙන් විද්‍යුත් පරිපථ හා විද්‍යුත් සබඳතාවලට ජලය හෝ දියර කාන්දුවීමෙන් වළකාගත යුතුය.
⋆ඔබේ නිවසේ හෝ කාර්යාලයේ හදිසි පිටවීමේ දොරටු නිසි පරිදි ක‍්‍රියාත්මක වනවාදැයි බැලිය යුතුය.
⋆ එමෙන්ම භූමිකම්පා ඇතිවීමෙන් පසු ආපදාවනට ලක්වූ පිරිස පිළිබඳ නිවැරැුදි තොරතුරු හැකි ඉක්මනින් ලබාගත යුතුය.
⋆ භූමිකම්පා ව්‍යසනයකදී පසුකම්පන ඇතිවන බැවින් හානි සිදුවූ පෙදෙසකට යාමට පෙර සුපරීක්ෂාකාරී විය යුතුය.

මේ අනුව අපට පැහැදිලි වන්නේ ඉදිරියේ විපතක් සිදුවීමට බලා නොඉඳ ඊට ප‍්‍රතිකර්ම හා සූදානම්වීමයි.
මෙරට භූමිකම්න ඇතිවිය හැකි තත්ත්වයක් පවතිනවාද යන්න පිළිබඳ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ඒන්.පී. විජයානන්ද මහතාගෙන් අපි විමසා සිටියෙමු.
‘ඇත්තටම ලංකාවට ඉදිරියේදී භූමිකම්පන සිදුවන බවට අවදානමක් නැහැ. ලංකාව පිහිටා තිබෙන්නේ භූමිකම්පන සිදුවන තල මායිමෙන් බැහැරවෙයි.’
භූමිකම්පන පිළිබඳ පරීක්ෂණ සිදු කරන හන්තාන පොදු මූලික අධ්‍යයන ආයතනයේ භූ විද්‍යාඥ දිලීප් සුබසිංහ මහතාගෙන් අදහස් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

‘මෑතකදී වාර්තා වූ සුළු භූමිකම්පන තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි සුළු භූමිකම්පන තත්ත්වයක් තුළින් සිදුවන අවදානම අඩුයි. ඉදිරියේදී සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ පෙර අනාවැකි සිදු කළ නොහැකියි.
කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලින් රත්තරන් මතුවී ඇති අතර තවත් ස්ථානයකින් භූමිතෙල් හමුවී ඇත. මෙම ද්‍රව්‍ය පොළොවෙන් මතුවීම භූ මට්ටම් යම් කැළඹීමක් නිසා සිදුවූවාදැයි සොයා බැලීමට කාලය එළැඹ ඇත. ශ‍්‍රී ලංකාව අවට සිදුවන භූමිකම්පන හේතුවෙන් අප රටේද භූ ලක්ෂණ වෙනස් වී ඇතිදැයි පරීක්ෂණ කළ යුතු වෙයි. එමෙන්ම භූමිකම්පන පිළිබඳ තොරතුරු ලබාගැනීමට හෝ පර්යේෂණ සිදුකිරීමට අප සතුව පවත්නා උපකරණ ද ප‍්‍රමාණවත් වන්නේ නැත. ඇතැම් පර්යේෂණ උපකරණ භාවිතයට ගත නොහැකිය. මේ නිසා මෙම උපකරණ නවීකරණය කර නව උපකරණ ලබා ගැනීමද කඩිනමින් කළ යුතුය. එවිට මෙම සංසිද්ධිවල සම්බන්ධතාව නිරවුල් වනවා පමණක් නොව අනාගතයේ යම් ස්වාභාවික අනතුරකට ඇති අවදානමද අඩුවනු ඇත.
එමෙන්ම එය කල්තියා හඳුනාගැනීමට හැකිවනු ඇත.

No comments:

Post a Comment