ප්‍රචාරනයේ අනෙක් පස
පාසලේ හතරවැනි වසරේ ඉගෙන ගන්නා වෙනුජ තම මව සමග නිවසට යන අතරතුරදී නොයෙකුත් වර්ගයේ අතුරු ආහාර ගැනීමට පුරුදුව සිටියේය. කුඩා වෙනුජගේ මව ස්වයං රැුකියාවක් වශයෙන් ඇඳුම් මැසීමේ නිරත වූ අතර ඇගේ සැමියා රොෂාන් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කළේය. මොවුන් අර්ධ නාගරික ප‍්‍රදේශයක ජීවත් වූ අතර වෙනුජගේ මව රශ්මි තම පුතාගේ දෛනික ආහාර සඳහා ගෙදරදීම විවිධ කෑම වර්ග සූදානම් කොට යැව්වාය. නමුත් ඇතැම් දිනවලදී තම රෙදි මැසීමේ කටයුතු කාර්යබහුල වීමත් සමග ඇය පුතාගේ ආහාර වේල සඳහා මුදල් ලබාදීමට පෙළඹුණාය. මෙසේ තම මවගෙන් මුදල් ලබා ගන්නා වෙනුජ පාසලේ ආපන ශාලාවෙන් හෝ මඟතොටේදී හමුවන කඩයකින් කෙටි කෑමක් ගැනීමට පුරුදු විය. මෙසේ කාලයක් ගත වනවිට කුඩා වෙනුජගේ ශාරීරික ක‍්‍රියාකාරිත්වයත්, මානසික සහනයත් ගිලිහී යෑම ආරම්භ විය.දරුවාගේ ආහාර අවශ්‍යතාව සකසා ගැනීමේ අරමුණෙන් රශ්මි සහ රොෂාන් සුපිරි වෙළෙඳසල්වලින් නොයෙකුත් කෑම වර්ග රැුගෙනවිත් ශීතකරණයේ ගබඩා කර තැබීමට පුරුදු වූහ. කුඩා වෙනුජ පාසලෙන් පසු අමතර පන්තිවලට සහභාගි වන අතර ඒ අතරතුර එක් සමාගමක අධිවිටමින් සහ ඛනිජ ලවණ ඇතුළත් යැයි සැලකෙන (ප‍්‍රචාරය කරන ලද) යෝගට් වර්ගයක් දිගින් දිගටම කෑමට පුරුදු විය. මේ පුරුද්ද අප පෙර කී ඔහුගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය පිරිහීමට හේතු විය. දිගින් දිගටම මෙම යෝගට් වර්ගය ආහාරයට ගැනීම ඇබ්බැහියක් වූ අතර මෙම ඇබ්බැහිය හරහාම වෙනුජගේ පාසල් ගමන කඩාකප්පල් වූයේ නිතර නිතර රෝගී වීමත් සමග නිවසේ නැවතීමට සිදු වූ නිසාය.
මෙම තත්ත්වය හේතුවෙන් වෙනුජගේ මවුපියෝ ඔහුව වෛද්‍යවරයෙක් වෙතට රැුගෙන ගියහ. මෙසේ රැුගෙන ගිය පසු වෛද්‍යවරයාට වෙනුජගේ මවුපියන්ගෙන් වැඩි තොරතුරු ලබාගත නොහැකි විය. නමුත් වෙනුජ සමග කතාබහ කිරීමේදී කාලයක සිට ඔහු යම් සමාගමක නිපදවන යෝගට් වර්ගයට ඇබ්බැහි වූ බවට හෙළි විය. මෙම ඇබ්බැහි වීම සමග ඔහුගේ උදරයේ වේදනාවක් මතු වී ඇත. වෛද්‍යවරයා වෙනුජගෙන් මෙම යෝගට් වර්ගයට ඇබ්බහි වීමට හේතුව කුමක් දැයි විමසූ විට කුඩා වෙනුජ කීවේ මෙවන් කතාවකි.
‘ටී.වී. එකේ යනකොට එයාලා (යෝගට් නිපදවන සමාගම) කියනවා ඇ`ගට ඕනෙ විටමින් ලැබෙනවා කියලා. එහෙම වුණහම ඕනෙම තරගයකින් දිනන්න පුළුවන් කියලා. ඒක මට යාළුවෝ ගොඩක් කිව්වා. ඉතින් මම දිගටම යෝගට් කෑවා. එතකොට මගෙ ඇඟත් ගොඩාක් ශක්තිමත් වෙලා මටත් තරග ගොඩකින් දිනන්න පුළුවන් වෙයි කියලා’ වෙළෙඳ ප‍්‍රචාරණ උගුලකට හසු වූ කුඩා වෙනුජ මාස ගණනාවක් අඛණ්ඩව තම උදරාබාදයට ප‍්‍රතිකාර ලබා ගත්තේය. ඔහු මෙසේ තම ශරීරය වර්ධනය කර ගනිමින් තරගවලින් ජයග‍්‍රහණය කිරීමේ අරමුණ ඇති කරගෙන ඇත්තේ රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්වලින් ප‍්‍රචාරය කෙරුණු යෝගට් සමාගමේ දැන්වීමක් නිසාය. මේ අප හට අසන්නට ලැබුණු මෙවන් කතා අතුරින් එකක් පමණි. මෙම දැන්වීමේදී එම යෝගට් වර්ගය ආහාර ලෙස ලබාගත් පසු සිරුර සවිබල ගැන්වෙන බවත් විටමින් වර්ග සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථය හේතුවෙන් මොළය වර්ධනය වන බවත් ප‍්‍රචාරණය කරයි. මෙවන් වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීම හරහා වෙනුජ වැනි දරුවන් දහස් ගණනක් මිථ්‍යාව විශ්වාස කරමින් තම ජීවිත පවා අනතුරේ දමා ගනියි. මෙම තත්ත්වය මෙන්ම සමස්ත වෙළෙඳ දැන්වීම් කලාවම පත්ව ඇති මුළාවෙන් ගලවා ගැනීමේ අරමුණු ඇතිව රෙගුලාසි මාලාවක් ලබන අපේ‍්‍රල් මාසයේ සිට ගෙනඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
නව ගැසට් පත‍්‍රයක් මඟින් වෙළෙඳ දැන්වීම් තුළ ප‍්‍රදර්ශනය කරනා මූලිකාංග පිළිබඳත් වෙළෙඳ ප‍්‍රචාරණ ක‍්‍රමවේදය පිළිබඳත් මෙම නව නීති ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මෙය නව ගැසට් පත‍්‍රයක් නොවන අතර මීට පෙර 1993දී වෙළෙඳ දැන්වීම් පිළිබඳ පැවැති රෙගුලාසි අලූත් කිරීමකි. 2003 වර්ෂයේදීද ආහාර පිළිබඳ නව රෙගුලාසියක් රැුගෙන ආ අතර එයද ක‍්‍රියාත්මක නොවූවත් පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සහ ආහාර පාලන අධිකාරිය එක්ව සංවිධානය කළ වැඩමුළුවකදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡුාවට බඳුන් විය.
නව නීති පැමිණීමත් සමග ආහාර නිෂ්පාදකයන්ට සහ ඖෂධ නිෂ්පාදකයන්ට වඩාත් වගකීම් සහගතව මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට සිදුවෙයි. ඒ අනුව ආහාර හෝ ඖෂධ ඇසුරුම් කිරීමේදී මෙන්ම ඒවා වෙළෙඳ ප‍්‍රචාරණය කිරීමේදීද මේ රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම අනිවාර්යය සාධකයකි. මෙසේ දැන්වීම් සඳහා රෙගුලාසි පැනවීමට කි‍්‍රයාකිරීම මෙරට ආරම්භ වූයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි හරහාය. මෙලෙස හෝ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අනුකූල වන පරිදි රෙගුලාසි පළකිරීම හරහා හෝ වෙළෙඳපොළෙහි පවතින ව්‍යාජ දැන්වීම් මාෆියාව යම් තරමකින් හෝ පාලනය කළ යුතුය.
දරුවන් උදෙසා දැන්වීම්කරණය
1999 වර්ෂයේදී ලොව පුරා කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූයේ වයස අවුරුදු අටට අඩු දරුවන් කිසිදු තර්කයකින් තොරව වෙළෙඳ දැන්වීම් පිළිගැනීමටත් අනුකරණයටත් ක‍්‍රියාකරනා බවයි. ලෝකය පුරා ළමයාගේ වයස් සීමාව නිවැරැුදි ලෙස නිර්ණය කර නොමැත. ඇමෙරිකාව තුළ පූර්ව ළමාවිය ලෙස වයස අවුරුදු අට දක්වා වයස් කාණ්ඩය නම්කර සිටියි. වෙළෙඳ දැන්වීම්වල බලපෑම පිළිබඳ කතා කිරීමේදී වයස ‘අවුරුදු දොළහ’ යන සීමාව බලපෑම් කළ හැකි වයසක් වශයෙන් සම්මත පිළිගැනීමට ලක්ව තිබේ. ඇමෙරිකාව තුළ පමණක් වසරකට ඩොලර් බිලියන 1.6කට අධික මුදලක් ළමුන් උදෙසාම වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය කිරීමට වෙන් කරයි.මෙරට වෙළෙඳ දැන්වීම් ළමුන්ට බලපාන ආකාරය පිළිබඳ සබරගමු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු යුවළක් වන ජේ. ආර්. එස්. පී. සමරවීර සහ කේ. එල්. එන්. සමන්ති සිදුකළ සමීක්ෂණය වැදගත් වෙයි.ඔවුන් දෙදෙනා එකතුව ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී දැන්වීම්කරණය සහ ළමුන්ගේ ආහාර පරිභෝජනය යන මාතෘකාව යටතේ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල සහ ගාල්ල ඕල්සෙන්ට්ස් පිරිමි පාසල පාදක කරගෙන සමීක්ෂණය පවත්වා ඇති අතර මේ සඳහා ඉහත නම් කළ පාසල් දෙකෙන් වයස අවුරුදු 9 සිට 14 දක්වා දරු දැරියන් සියදෙනෙක් සහභාගි කරගෙන ඇත.ඔවුන්ගේ සමීක්ෂණයට අනුව සාමාන්‍යයෙන් අප රටේ දරුවෙක් හෝ වැඩිහිටියෙක් මාධ්‍ය 11ක් ඔස්සේ වෙළෙඳ දැන්වීම්වලට විවෘත වෙයි. එම මාධ්‍ය වන්නේ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, සඟරා, පෝස්ටර්, දැන්වීම්, අත්පත‍්‍රිකා, වෙළෙඳ ප‍්‍රචාරණ කුටි, සිනමාපට, වීඩියෝ මාධ්‍ය සහ ඡුායාරූපයි. මොවුන්ගේ මාධ්‍ය තුළට හසුනොවූ අන්තර්ජාලයද අද වනවිට වෙළෙඳ ප‍්‍රචාරණයේදී බහුලවම භාවිත වන ක‍්‍රමවේදයක් බවට පත්ව ඇත. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ නිවැසියන්ගෙන් 85%කට පමණ රූපවාහිනී තිබෙන අතර මේ හරහා බොහෝවිට සන්නාමවලට ආකර්ෂණය වීම නිතැතින්ම සිදුවෙයි. මෙම සමීක්ෂණවලදී අනාවරණය වූ කරුණු කිහිපයකි.
⋆ කෙටි ආහාර පිළිබඳ ප‍්‍රචාරණ වර්ධනය වීම
⋆ ළමා වැඩසටහන් පවතින වේලාවන්හිදී වැඩිවශයෙන් ආහාර දැන්වීම් විකාශය
⋆ බොහෝ දුෂ්කර ප‍්‍රදේශවලට සුපිරි වෙළෙඳසල් පැතිරීයාම හරහා වෙළෙඳ සන්නාම මහජනතාව අතරට යාම
⋆ පාසල් දරුවන්ගේ දිවා ආහාර උදෙසා මවුපියන් මුදල් ලබාදුන් පසු ඔවුන් ආහාරයට ලබාගන්නේ කුමක්දැයි මවුපියන් සොයා නොබැලීම
⋆ ආහාර, රසකැවිලි සහ සත්ව නිෂ්පාදන සඳහා ප‍්‍රචාරණය වර්ධනය වීම
යන කරුණු විශේෂ වෙයි.
මෙසේ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය රට තුළ වේගවත් වීම ඔස්සේ ජනතාව කෙටි ආහාරවලට සහ කලින් සූදානම් කරන ලද ආහාරවලට වැඩි වශයෙන් පෙළඹී ඇත. පසුගිය කාලයේදී මෙරට බෝ නොවන රෝග මට්ටම ඉතා ඉහළ අගයකට පිවිසියේය. විශේෂයෙන් දියවැඩියාව, කොලොස්ට්‍රෝල් සහ හෘදයාබාද ඇතිවීම වඩාත් ඉහළ අගයක් ගත්තේය. මීට ප‍්‍රධාන හේතුවක් වශයෙන් වෙළෙඳ දැන්වීම්වල බලපෑම දැක්විය හැකිය. අද වනවිට දරුවන් අතර දියවැඩියාව කොලොස්ට්‍රෝල් සහ අධික ලෙස තරබාරුවීම රෝගී තත්ත්වයක් වශයෙන් වර්ධනය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නව රෙගුලාසි ගෙන ඒම ඔස්සේ වෙළෙඳ දැන්වීම්වලට යම් වාරණයක් ඇතිවීම අනිවාර්යයෙන් සිදුවිය හැකි නමුත් වෙළෙඳ දැන්වීම්වල ප‍්‍රමිති පිළිබඳ ගැටලූ කිහිපයක් පවතියි.
1* දරුවන් යොදාගනිමින් දැන්වීම් නිර්මාණය කිරීමට වාරණ පැනවීම
2* කාන්තාවන් සම්බන්ධයෙන් දැන්වීම් නිර්මාණයේදී රෙගුලාසි ඇතුළත් කිරීම
3* ආගමික/ සංස්කෘතික සීමා නිර්ණය කිරීම
4* වැරැුදි තොරතුරු ඇතුළත් දැන්වීම් තහනම් කිරීම
5* සංවේදීතාව අධික දැන්වීම් වාරණය
6* කුඩා දරුවන් උදෙසා දැන්වීම් නිර්මාණය/ ප‍්‍රවර්ධනය තහනම් කිරීම
යන කාරණා ඉදිරියේදී නොසලකා බලා දැන්වීම්වලට නියාමනයක් ඇති කළ යුතුය. එසේ වුවහොත් රටේ සෞඛ්‍ය මෙන්ම සාමාජයීය තත්ත්වයටද යහපතක් සිදුවනු ඇත.
ලෝක ප‍්‍රවනතාව
ලෝක මට්ටමින් ගත්කල අප රට වෙළෙඳ දැන්වීම් සඳහා රෙගුලාසි පැනවීම් සම්බන්ධයෙන් සිටින්නේ ඉතා පහළ තත්ත්වයකය. ලෝක මට්ටමේදී මෙවන් ආහාර දැන්වීම්වලට රෙගුලාසි දැමීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ඇමෙරිකාව සිටින්නේ අප රටට ළංවිය නොහැකි තරම් දියුණු මට්ටමකය.ඔවුන් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද ක‍්‍රියාත්මක කරන නිීතිරීති විශාල ප‍්‍රමාණයකි.වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රෙගුලාසි රැුසක් අර්ථ දක්වා ඇත. මේවා නීති සහ රීති වශයෙන් පැවතීම සුවිශේෂීය. උදාහරණයක් වශයෙන් ඇතැම් වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය කළ හැක්කේ එක් ප‍්‍රදේශයක පමණි. එසේම ඇතැම් නීති හා රීති ඔස්සේ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කරනා කාලය, ස්ථානගත කිරීම මෙන්ම අන්තර්ගතය පිළිබඳ නීතිරීති පනවා ඇත. බොහෝ සමාජ සංස්ථා ඔවුන්ටම ආවේණික ක‍්‍රමවේද මත වෙළෙඳ දැන්වීම් පිළිබඳ රෙගුලාසි ඇති කිරීමට ක‍්‍රියාකර ඇත. විශේෂයෙන් බාහිර ප‍්‍රචාරණ දැන්වීම සඳහා දැඩි නීතිරීති ක‍්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර ඇත. එමෙන්ම ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍යය ගෘහාශ‍්‍රිත දරුවන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරනා වෙළෙඳ ප‍්‍රචාරණ තහනම් කර තිබේ. එසේම ඇතැම් යුරෝපීය රටවල දරුවන් සහභාගිවන වැඩසටහන් තුළ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරණය කිරීම නීතියෙන් තහනම් කර ඇත. මහා බි‍්‍රතාන්‍ය තුළ දුම්කොළ දැන්වීම් රූපවාහිනී මාධ්‍ය තුළ සහ ක‍්‍රීඩා පැවැත්වෙන ක‍්‍රීඩා භූමි තුළ ප‍්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ. එසේම මත්වතුර නිෂ්පාදිත සමාගම් යම් අවස්ථාවක් සඳහා ප‍්‍රචාරණ කටයුතු කිරීමේදී ඔවුන්ට මාධ්‍ය ඔස්සේ තම සමාගමේ තොරතුරු පිළිබඳ සාකච්ඡුා කිරීම තහනම් කර ඇත්තේ ප‍්‍රචාරණය වැළැක්වීමේ ක‍්‍රමවේදයක් වශයෙනි. ඇමෙරිකාව තුළ ෆෙඩරල් ටේ‍්‍රඞ් කොමිෂන් හරහා වෙළෙඳ දැන්වීම් පාලනයට ලක්කරන අතර මහා බි‍්‍රතාන්‍යය තුළ ‘ඇඞ්වර්ටයිසින් ස්ටෑන්ඩර්ඞ් ඔතෝරිටි’ හරහා මෙම කටයුත්ත සිදු කරයි.
මහා බි‍්‍රතාන්‍ය තුළ පොදු ස්ථානයක වෙළෙඳ දැන්වීමක් (පෝස්ටර්) ප‍්‍රදර්ශනය කළහොත් අදාළ සමාගමෙන් එක් පෝස්ටරයක් සඳහා පවුම් 2500ක දඩ මුදලක් ලබාගනියි. මෙසේ දඩ මුදල් ලබාගැනීම ඔස්සේ බලාපොරොත්තු වන්නේ අනවශ්‍ය තොරතුරු සමාජගත වීම වළක්වාලීමයි.2006 වර්ෂයේදී බි‍්‍රතාන්‍ය වෙළෙඳ දැන්වීම් පිළිබඳ රෙගුලාසි කිහිපයක් ප‍්‍රකාශයට පත් කළේය. එම රෙගුලාසි යටතේ වයස අවුරුදු දහසයට අඩු ළමුන් සඳහා දැන්වීම් නිර්මාණය කිරීම අවම කිරීම මෙන්ම වෙළෙඳ දැන්වීම් උදෙසා දරුවන් යොදාගැනීම සම්බන්ධ නීතිරීතිද ඇතුළත් කරන ලදී. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මෙරට ක‍්‍රියාත්මක වන නීති රෙගුලාසි අවම වශයෙන්වත් ක‍්‍රියාත්මක නොවන බවයි.
දරුවන් සඳහා වෙළෙඳ දැන්වීම් නිර්මාණය සහ දරුවන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදාගැනීම සේම කාන්තාවන් වෙළෙඳ දැන්වීම්වලට යොදා ගැනීම සම්බන්ධ නීතිරීතිද යුරෝපා සංගමය අනුමත කරන ලදී. යුරෝපා සංගමයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව වෙළෙඳ දැන්වීම් ඔස්සේ කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් පිළිබඳ අධ්‍යයනය කර නීතිරීති පළකොට තිබෙන අතරම 2004 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ හතරවැනි ලෝක සම්මේලනයේදී හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙළෙඳ ප‍්‍රචාරණය සම්බන්ධ කාන්තාවන් යොදාගැනීම පිළිබඳ අවධානය යොමු කර විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කළාය. එහිදී ඇය අවධාරණය කළේ දැන්වීම්කරණය සම්බන්ධව කාන්තාවන්ට නිසි ගරුත්වය ලබාදීමට කටයුතු කළ යුතු බවයි.2008 වර්ෂයේදී තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය, බි‍්‍රතාන්‍යය අනුගමනය කළ වෙළෙඳ දැන්වීම් පිළිබඳ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. එමෙන්ම ගිය වර්ෂයේදී (2012* ඉන්දීය විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව දැඩි පියවරක් ගත්තේය. එනම් රූපවාහිනී දැන්වීම් පළකිරීම පැයකට මිනිත්තු 12කට සීමා කිරීමයි. මෙම මිනිත්තු දොළහෙන් මිනිත්තු දෙකක් ආයතනයේ වෙළෙඳ දැන්වීම් උදෙසාත් ඉතිරි මිනිත්තු 10 වාණිජ දැන්වීම් උදෙසාත් වෙන්කළ යුතුය.
ලෝක මට්ටමේ වෙනත් රටවල තත්ත්වය එසේ වෙද්දී මෙරට වෙළෙඳ දැන්වීම් නියාමනය කිරීම උදෙසා නිවැරැුදි ක‍්‍රමවේදයක් ඇති කිරීම මෙතරම් ප‍්‍රමාද ඇයිද යන්න ගැටලූවකි.
(2013 January 27 RANDIWA NEWS PAPER)

